යුදහමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා අඛණ්ඩව දෙවන වරටත් හච් අනුග්‍රහය

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම ව්‍යාප්තවන ජංගම දුරකථන සබඳතා සහකරු වන හච්, අඛණ්ඩව දෙවන වරටත් 55 වන යුදහමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන්නේය. කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති මෙම ශූරතාවලිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සහභාගී වූයේය.

දින තුනක් පුරා පැවති මෙම ශූරතාවලිය සඳහා යුදහමුදාවේ රෙජිමේන්තු මූලස්ථාන 24 නියෝජනය කරමින් තරගකරුවෝ 900 කට ආසන්න සංඛ්‍යාවක් තරග වැදුණහ. මෙහිදී නව ජාතික වාර්තා 2ක්, නව ඉසව් වාර්තා 12ක් සහ යුදහමුදා මලල ක්‍රීඩා ශුරතාවලි 4ක් බිහිවීම විශේෂත්වයකි. ජාත්‍යන්තර තරග බිමේදී පදක්කම් හිමිකර ගනිමින් මෙරටට කීර්තියක් ගෙන එන ලද ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 20කට අධික පිරිසක් ද තරග නැරඹීම සඳහා එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සංවිධානය කරන තරගාවලි ඇතුළු මෙරට කීර්තිමත් ක්‍රීඩා ඉසව් රැසක් සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙමින් හච් සමාගම කීර්තිමත් නාමයකට හිමිකම් කියයි. යුදහමුදා වාර්ෂික මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා අඛණ්ඩව දෙවන වරටත් අනුග්‍රාහකත්වය ලබාදෙමින් හච් සමාගම මෙරට කුසලතා පූර්ණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් ජාතික තලයට ගෙන ඒම සඳහා දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු වෙයි.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව පිරිමි සමස්ත ශූරතාව හිමිකර ගත් අතර ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව දෙවන ස්ථානයත්, ගැමුණු සේවා බලකාය තෙවන ස්ථානයත් හිමිකර ගත්හ. 4 වන ශ්‍රී ලංකා යුදහමුදා ස්වේච්ඡා කාන්තා බලකාය මෙවර ද කාන්තා ශූරතාව දිනාගත්හ. මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සිය හොඳම දක්ෂතා සහ ඉසව් වාර්තා පිහිටුවීමට සමත් වූ අතර ඒ අතරින් පිරිමි මී 200X4 සහය දිවීමේ (1:24.03) සහ පිරිමි මී 800X4 සහය දිවීමේ (7:27.17) ඉසව් කැපී පෙනුණි. එම ඉසව් දෙකෙහි ම ජය හිමිවූයේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු කණ්ඩායම් වලටය.

“ඉතිහාසය පුරාම ශ්‍රී ලංකා යුද හමුදාව ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකර තිබෙනවා. දක්ෂ ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සහයෝගය ලබාදීම සඳහා අප දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින්, ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩා ඉසව් සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම පිළිබඳ අප ආඩම්බර වනවා” යනුවෙන් හච් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේය.