ලංකාවේ පළමු වතාවට නිවසටම සිම් එකක් ගෙන්වා ගැනීමේ සේවාව Hutch විසින් හඳුන්වා දෙයි

ඔන්ලයින් ඇණවුම් කර  ක්ෂණිකව ගෙන්වා ගැනීමේ පහසුකම්

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන විදුලි සංදේශ සේවා  ජාලය වන HUTCH ශ්‍රී ලංකාවේ මුල් වරට නොමිලේ සිම්පත් නිවසටම ගෙනවිත් දීමේ සේවාවක් අරඹයි. පාරිභෝගිකයින් වෙත  ඉතා හොඳ සේවාවක් ලබාදීමේ අරමුණින් පාරිභෝගිකයින්ගේ පහසුව සඳහා මෙම නව සේවාව දියත් කර තිබේ.

HUTCH Online SIM Order and Delivery නමින් හඳුන්වන මෙම සේවාව යටතේ අන්තර්ජාලය ඔස්සේ ඉතා සරල ක්‍රමවේදයක් මඟින් ලියාපදිංචි වන පාරිභෝගිකයින් වෙත නොමිලේ HUTCH සිම්පත් සපයනු ලබයි.

වත්මන්  සමාජයේ   බොහෝ දෙනා ඉතා කාර්ය බහුල ජීවිතයක් ගත කරන අතර සිය බොහෝ  දෛනික අවශ්‍යතා ලැප්ටොප් හෝ ස්මාර්ට්ෆෝන් භාවිතයෙන් අන්තර්ජාලය ඔස්සේ  ඉටුකරගැනීමට  හුරුවී සිටියි. මෙම තත්වය මැනවින් වටහාගනිමින් HUTCH විසින් මෙම නව සේවාව දියත් කර ඇති අතර එමඟින් නව සිම්පතක් ලබාගැනීම සඳහා HUTCH අලෙවි නියෝජිතයෙකු වෙත යාම  වෙනුවට HUTCH සිම්පත තමන් වෙත ගෙන්වා ගැනීමේ පහසුව සැලසෙයි.

මෙම නව සේවාව හඳුන්වා දීමේදී සැපයෙන විශේෂ වරප්‍රසාදයක් ලෙස මෙලෙස ලබාගන්නා සිම්පත්  පාරිභෝගිකයා අතට කිරීමේදී එම ස්ථානයේදීම ක්‍රියාත්මක සිම්පත් බවට පත් කෙරේ. මේ නිසා මෙම සිම්පත අතට ගත් සැනින් භාවිත කිරීමේ අවස්ථාව පාරිභෝගිකයාට උදාවෙයි.

ආරම්භක පියවරේදී මෙම සේවාව කොළඹ, ගම්පහ,කුරුණෑගල, කළුතර සහ මහනුවර  යන දිස්ත්‍රික්ක වල පමණක් ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී දිවයිනේ සියලු ප්‍රදේශ වෙත මෙම සේවාව ව්‍යාප්ත කිරීමට HUTCH අපේක්ෂා කරයි.

මෙම නව පියවර සම්බන්ධයෙන් අදහස් දැක්වූ HUTCH ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා ප්‍රකාශ කළේ සිය පාරිභෝගිකයා වෙත  පහසුකම් සැලසීමේ ක්‍රියාවලියේ එක් අදියරක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි. ඩිජිටල් ජීවන රටාවකට හුරුව සිටින පාරිභෝගිකයාගේ සැබෑ තත්වය මැනවින් වටහා ගනිමින්  මෙම නව සේවාව දියත් කළ බව හෙතෙම පෙන්වා දුන්නේය. මෙම සේවාව හඳුන්වා දීමේ අවස්ථාව වන විට නව සිම්පත්  ලබාගන්නන් රැසක් මෙම සේවාව පිළිබඳ දැඩි උනන්දුවක් දක්වූ බවද ඒ මහතා සඳහන් කලේය. ඉදිරියේදී මෙම නව  Online SIM Order and Delivery සේවාව තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත්, නුදුරේදීම  HUTCH සිම්පත් ලබාගැනීමේ පහසුම හා වාසිදායක ක්‍රමවේදය බවට  මෙම සේවාව පත්වනු ඇති බවටද තිරුකුමාර් නඩරාසා මහතා විශ්වාසය පළ කළේය.