ලී කා-ශිං ධන කුවේරයා ප්‍රථම බෞද්ධ කලා කෞතුකාගාරය විවෘත කරයි

හොං කොංහි ධන කුවේරයෙකු මෙන්ම සමාජ සුබසාධකයෙකු ද වන ලී කා-ශිං මහතා පසුගියදා ඩොලර් මිලියන ගණනක වියදමින් බෞද්ධ කලා කෞතුකාගාරයක් හොං කොං හි විවෘත කිරීමට කටයුතු කළේය. ඒ මහතා Hutchison Telecommunications Lanka (HTLL) සමාගමේ ප්‍රධාන කොටස්කාර සමාගමවන CK Hutchison Holdings සමාගමේ හිටපු සභාපතිවරයාය.

එය ඉදිකර ඇත්තේ එතුමාගේ දායකත්වයෙන් ඉදිකෙරුණු ටිස් ශාන් ආරාම පරිශ්‍රයේය. 1980 වසරේදී ආරම්භ කරන ලද මෙම පදනම හරහා ලොව පුරා රාජ්‍යයන් 27ක අධ්‍යාපන සහ වෛද්‍ය ව්‍යාපෘති රැසක් සිදු කර ඇති අතර ඉහත සඳහන් ආශ්‍රමය සහ කෞතුකාගාරය ද එම පදනම මගින් සිදු කරන ලද ව්‍යාපෘති වේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ආශ්‍රයෙන් නිර්මලත්වය සහ අධ්‍යාත්මික අවබෝධය ලබාගැනීමට අපේක්ෂා කරන්නන් හට පර්යේෂණ සහ අධ්‍යයන කටයුතු සිදු කළ හැකි බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙසඇ.ඩො. මිලියන 382ක වියදමින් මෙම බෞද්ධ කලා කෞතුකාගාරය ස්ථාපනය කර ඇත.

දැවැන්ත ගුවාන් යින් ප්‍රතිමාව සහ කලා කෞතුකාගාරයට අමතරව සිටිගර්භ බෝධිසත්ත්ව ශාලාව, ඝණ්ඨාර කුළුණ, බෙර කුළුණ සහ පුස්කොළ පොත් පුස්තකාලය ආදියෙන් ද මෙම ආශ්‍රමය සමන්විතය. පුනරුත්පත්තිය සංකේතවත් කරමින් නෙළුම් සහ ඕලු මල්වලින් සමන්විත පොකුණක් ද එහි මිදුලේ දැකගත හැකිය.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට හොං කොංහි ධනවත් ම පුද්ගලයාවන ලී කා-ශිං මහතා සහභාගී වූයේය. ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ ධනය ඇමරිකානු ඩොලර් බිලියන 33.4 කි. වජ්‍ර සූත්‍රය උපුටා දක්වමින් එතුමා එහිදී අදහස් පළ කළේය. “සෑම සංසිද්ධියක් ම සිහිනයක්, මායාවක්, බුබුලක්, අභූත රුවක් වැනිය. බෞද්ධ දර්ශනය මා හට සැකය, බිය සහ අවිශ්වාසය යන අභියෝගවලින් මිදීම සඳහා මග පෙන්වූවා”

“මා කවුද? මගේ ජීවිතයෙන් මා කළ යුත්තේ කුමක්ද? මා සුබවාදී අනාගතයක් ගොඩනගන්නේ කෙසේද? අප ඉදිරියට ගමන් කළ යුත්තේ කුමන දිශාවෙන්ද? මා සිතන්නනේ ටිස් ශාන් ආශ්‍රමය එවැනි දිශානුයෝජනයකට සහ අවලෝකනයකට ඉඩහසර ලබාදෙන තැනක්වනු ඇත”

කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇති ධාතූන් වහන්සේලා බුදු දහමේත් එහි පැවැත්මේත් කතාව පිළිබිඹු කරයි. බුදු දහමේ ඓතිහාසික සහ භූගෝලීය වර්ධනය එහි 100කට අධික දැවැන්ත බුද්ධ ප්‍රතිමා සහ අතින් පිටපත් කරන ලද දන්හුආන් සූත්‍ර 43 ද මැනවින් කියාපායි. එම ප්‍රතිමාවලින් වැඩි ප්‍රමාණයක් ලී මහතා විසින් පරිත්‍යාග කරන ලද ඒවාවන අතර අනෙකුත් ප්‍රතිමා චීනය, ඉන්දියාව, ජපානය, මියන්මාරය සහ වෙනත් නැගෙනහිර සහ ගිනිකොනදිග ආසියානු රටවලින් ලී කා-ෂින් පදනම විසින් ලබගත් ඒවාය.

බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීම සඳහා තමන් දරන උත්සාහය අනුව යමින් ලී කා-ෂින් මහතා විසින් මෙම කලා කෞතුකාගාරය ගොඩනගා ඇත. බුදුදහම යනු සැමට පොදු වූ ධර්මයක් බව ඔහුගේ අදහසයි. ඔහු පූජා කළ සෑම බුද්ධ ප්‍රතිමාවකින් ම මිනිස් වර්ගයාගේ කැපවීම සහ විඳවීම නිරූපණය කරයි. කෞතුකාගාරය සතු භාණ්ඩ එකතුව හරහා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් ප්‍රතිනිර්මාණය කිරීමට අපේක්ෂිතය.

ටිස් ෂාන් ආශ්‍රමය නැරඹිය හැක්කේ පූර්ව වෙන්කරවා ගැනීම් මගින් පමණක්වන අතර දිනකට 400 දෙනෙකුට එය නැරඹීමේ අවස්ථාව හිමිවේ. මැයි මස 1 වනදා සිට ලොව පුරා ජනතාවට එම කෞතුකාගාරය නොමිලයේ දැකගත හැකිය.